Sunday, January 16, 2011

හීනසිත්තම දෙවන කොටස

නිවේධා ඉතා අපුරු කුඩා කැටයම් සහිත කුඩා දැරියක් හා දොරක් අඹා ඇති සිහිවටනයක් සියතයට ගත්තා යග එය ඇයගේ අත්ල තරම් කුඩා වියග එනමුත් එය මන බඳනා සුළුවියග 
“මොකද අනේ ඕක දිහාම බලන්න ඉන්නේ..?” මිතුරියගේ හඬින් නිවේධා තැතිගත්තාය.



අම්මෝ ... මං බය වුණා. වෙන කල්පනාවක හිටියේ.”
“මධූ.., ඔයා මොකද මේ පොඩි ළමයා ගැන හිතන්නේ..?”
“ලස්සනයි.”
“එච්චර ද?”
“අපෝ.. ඕක පිළිමයක් නේ. වෙන මොනවා හිතන්න ද ?” මධූ නිවේධාගෙන් පෙරලා ප්‍රශ්න කලාය.

“බලන්න ....ඔයා හිතුවද  කවුරු හරි මේ වගේ පිළීමයක් ඇඹුවේ ඇයි කියලා..? මේ පුංචි ගෑණු ළමයයි...දොරයි..! කොච්චර දේවල් අපිට මේ ගැන හිතන්න පුළුවන් ද? මෙයත් හරියට මං වගේ. තනි වෙලා.... ඒත් සතුටින්  බලන්න මෙයාගේ ඇස්වල දීප්තිය. සමහර විට මෙයා දොරෙන් එළියට වෙලා කවුරුහරි එනකම් බලාගෙන ඉන්නවා වගේ; ඒ බලාපොරොත්තුවෙන් ඇස් දිළිසෙනවා ඇති; නැත්නම් මෙයාව ගෙයින් එළියට දාලා දොර වහලා වගේ; ඒ නිසා ඇස් යට හිරවුණ කඳුලක් නිසා ඇස් දිළිසෙනවා ඇති. සතුට වුණත් දුක වුණත් මේ මොහොතේ මෙයා තනි වෙලා. ඒත් මට ආසයි මෙයාට පණ තියෙනවා නම් ...ඔය ඇස්වල දීප්තිය මොකක් නිසාද කියලා අහන්න. ඔයා මොකද හිතන්නේ...? ”
“විකාර. ඕක පිළිමයක් විතරයිනේ.”
“ඒත් ඒක හරිම ජීවමානයි. පුංචි පුංචි දේවල් වල ගොඩාක් ලොකු රසයක් තියෙනවා.”
“අනේ මන්දා. කවදාහරි ඔයාගේ කොල්ලට පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ.”
“ඇයි..? එයා මං කියන හැමදේටම එකඟ වෙන්නවත්, මං හිතන විදියට හිතන්නවත් අවශ්‍ය නෑ. එයා මාව තේරුම්ගන්නවානම් ඒ ඇති. ඒත් ඔයා දන්නවානේ, ආදරය ගැන මං හිතන්නේ නෑ. ආදරය කලොත් මේ වගේ තනිවෙන්නයි වෙන්නේ. දුක් විඳින්න මම කැමති නෑ.”
“ඕන්න බණ කියවන්න පටන් ගත්තා. අමතකද අපි මෙහෙට ආවේ තෑග්ගක් ගන්න. අපරාදේ ඔයා වෙනුවට විවේකාව එක්කගෙන ආවානම් මෙලහකට එයා තෑග්ගක් තෝරලා. ඔයාගේ අවවාද තමයි අහගෙන ඉන්න බැරි.”
“ඕකනේ වරද. නොමිලේ දෙන ඕනම දෙයක් පැනලා බදාගන්න අපේ රටේ මිනිස්සු, නොමිලේ දෙන අවවාද තඹ සතේකට ගනන් ගන්නේ නෑ. අවවාද දෙන්න නම් හරි ලේසියි තමයි. මං කියන්නේ නෑ හැම අවවාදයක්ම පිළිගත යුතුයි කියලා. ඒත් කාගේ කාගේ වුනත් යහපත් ගතිගුණ, අවවාද, ආදර්ශ අපේ ජීවිත වලට එකතු කරගෙන ජීවිතේ ගොඩනඟා ගත්තට පව් නෑ මධූ. ඕ....සොරි. ආයෙමත් මම අවවාද දෙනවා නේද?. හරි කියන්නකෝ මොනවගේ තෑග්ගක් ද ඕන.”
“මොකක් හරි ලස්සන දෙයක්.”
“ඔයා මේකට කැමති නෑනේ. මේක මං ගන්නවා. මටම තමයි ගැලපෙන්නේ.”
“අනේ මන්දා නිවේධා! තෝරගන්න බෑනේ. ”
“ තෑගි තෝරද්දි විතරක් නෙමෙයි මධූ...ජීවිතයේ ගොඩක් දේවල් වලදී තෝරගන්නත්, ඒ වගේම තේරීම් වලට ලක්වෙන්නත් අපිට සිද්ධ වෙනවා. තෑග්ග නෙමෙයි වැදගත් අපි තෑගි දෙන කෙනා මොනවගේ ද , අවස්ථාව මොනවගේ ද, කියන බාහිර සාධක දිහා බලලා තෑගි දෙනවට වඩා අවංකව පතන එක පැතුමක් ගොඩක් වෙලාවට වටිනවා.”
“හරි ආච්චි අම්මේ...... දැන්වත් මට තෑග්ගක් තෝරලා දෙනවාද ?” මධු සිය දෑත් එක්කරමින් සිනාසෙමින් පැවසුවාය. නිවේධා ද අහිංසක විලසින් සිනාසුණාය.

නිසල ප්‍රථම වරට නිවේධාව දුටුවේ මෙම නිමේෂයේ දීය. දිගු දෑස්, මදක් කැරලි ගැසුණු කළු වරලස හා මුවග නිතරම පිරී පවතින සිනහව ඇයව අන්‍යන්ගෙන් කැපී පෙනෙන සාධක වන්නට ඇතැයි ඔහු සිතුවේය. සුවිශේෂී ලස්සනක් නැත; නමුත් ලස්සනය. ඇය සරලය. එම සරල බව ඇගේ රුව ඔප් නංවා ඇත.
“ කසුන්... අර ගර්ල්ව දැක්ක ද? ”
“කෝ.... කවුද?”
“අර පොඩි ස්ටැචු එකක් අතේ තියාගෙන ඉන්නේ ” නිසල ඇයව තම මිතුරාට පෙන්වූවේය.
“ උඹ දන්න කෙනෙක් ද?”
“ නෑ... එත් දැනෙන්නේ මං හොඳට අඳුනන කෙනෙක් වගේ. දැනගන්න ආසයි එයාව. හරිම අමුතු විදියට හිතන්නේ. එයා ඉන්නේ සතුටින්ද, දුකින්ද කියලා තෝරගන්න බෑ. හිතලා බලන්න වටින කතා වගයක් එයා කිව්වා. බුද්ධිමක් කෙනෙක් වගේ. ඒත් අහිංසක පාටයි”
“ බලාගෙන.......මට නම් පේන්නේ මහා ආඩම්බරකාරියක් වගේ.”
“ කෙල්ලක් ආඩම්බර වෙනවා කියන එක වරදක් නෙමෙයි.”
“ උඹට කෙල්ලව ගොඩක් හිතට අල්ලා වගේ.” කසුන් පැවසුවේ සිනහා වෙමිනි.
“ ඔව්. මචං කසුන් උඹ කතාවක් අහලා තියෙනවා ද? හිස් වීදුරුවක් අරගෙන ඒක භාගයක් පුරවපුවහම සුභවාදියෝ කියනවා ඒක භාගයක් පිරුණ වීදුරුවක් කියලා. අසුභවාදියෝ ඒක දකින්නේ භාගයක් හිස් වීදුරුවක් විදියට. දන්නවාද මට නම් හිතෙන්නේ අරයා ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක්. තේරුණා ද මම අදහස් කරපු දේ?.”
“ නෑ මට උඹ කියන ඒවා මඤ්ඤං වගේ.”
“ එයා සතුටින් ඉන්න උත්සහ කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක් ව ජීවිතයට ළං කරගත්තොත් මට ජීවිත කාලයම විඳින්න පුළුවන් වෙයි. හැම හැඟීමක්ම................. හරිම ලෙන්ගතුව.............”
“ උඹ මෙතන මනෝ පාරාදීසය වෙනවා. අන්න උඹේ සුරංගනාවී පියාඹලා ගියා.” නිවේධා තම මිතුරිය සමඟ පිටව යනු දුටු කසුන් පැවසුවේය.
“කසුන් ........ යමු..........අපි පස්සෙන් යමු.”
“ දැන් කොහේ හොයන්න ද? උඹේ දෛවයේ ලියැවිලා තියෙනවා නම් ඔයාට එයාව ආපහු මුණගැහේවි.”
 “දෛවය...! අභියෝග වලින් බේරෙන්න අපේ මිනිස්සු යොදාගන්න වචනයක් තමයි ඕක. දෛවයට හැමදේම බාර කරන එක මහ මෝඩකමක්. ජීවිතය අපියි දිනාගන්න ඕන. ඒක මගේ ප්‍රතිපත්තියක්.”
“ හරි...හරි...යාළුවා, දැන්වත් ආපු වැඩේ කරමු ද? ” කසුන් ඇසුවේය.
නිසල නැවතත් දොරටුව දෙස බැලුවේය. ඇයගේ නම නිවේධා බවබ ඇයත් මිතුරියත් අතර වූ සංවාදයෙන් ඔහු දැනගත්තේය. නිවේධා! අමුතු නමක් ඇති අමුතු අදහස් දරනා ඒ යුවතිය පිළිබඳව මින් පෙර නොදැනුන අමුතු හැඟීමක් ඔහුගේ සිත තුල ඇති විය. නමුත් ඒ අමුතු හැඟීම කුමක් දැයි ඒ නිමේෂයේදී ඔහු නොදැන සිටියේය. නමුත් සිතුවිලි ලෝකයේදී, සිහින තුලදී ඇයට ලෙන්ගතු වෙමින්, ඔහු තමාටම අමුත්තෙකු වූ ඒ හැඟීම; ඒ අමුතු හැඟීම ආදරය දැයි ඔහු සැක කලේ ය. නොබෝ දිනකින්ම ඒ  ඔහු සොයන ආදරයම බව ඔහු වටහා ගනු ඇත.
*************************************************************

4 ක පසුවදන් ලැබී තිබේ.:

Anonymous said...

good work

Anonymous said...

Really Nice

Ishara said...

Thank you all Continue with us.

Anonymous said...

Nice Ishara Continue your Writting
aluth wadak kiyala peneawa

Post a Comment

හිතට හැඟුණ දේ සනිටුහන් කරමු ද?

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...