Thursday, February 3, 2011

හීනසිත්තම තෙවන කොටස

මුළු බසයම මඟීන්ගෙන් පිරී පැවතුනි. අතින් කටින් බඩු එල්ලාගත් සමහරෙක් එහි විය. තමන්ගේ දරුවා මගහැරේ යැයි බියෙන් දරුවාගේ අතින් තදින් අල්ලාගත් මව්වරු එහි විය. තෙරපීමෙන් වෙහෙසට පත්වී අමාරුවෙන් හුස්ම ගන්නා, ඒ අතරම බසයෙන් ඉවතට විසිවේ යැයි බියෙන් බසයේ අහු මුළු බදාගෙන සිටිනා පිරිසක් ද විය. සිටගෙන දුක් නොවිඳීමට තරම් වාසනාවන්ත වූ සමහරු අසුන්ගෙන සිටියහ.  
අසුන්ගෙන සිටි අයට සහනයක් වනු පිණිස ඔවුන්ගේ ගමන් මළු ඉල්ලාගත් කිහිපදෙනෙකු සිටි අතර සමහරු තමන්ගේ පාඩුවේ ගමන් ගත්හ. ඉඳගෙන නිදන අයත්, සිටගෙන නිදන අයත්, දෙවර්ගයම ඒ බසය තුළ දැකගත හැකි විය. එය කොළඹ බලා දිවෙන රථයක් වූ බැවින් මෙවැනි කලබලකාරී පරිසරයක් එහි වීම පුදුමයට කරුණක් නොවිණි. මෙවැනි බසයක තෙරපෙමින් ගමන් ගැනීම නිසල අකැමැතිම දේ වලින් එකක් වූ නමුදු බසයට ගොඩ වූ විට ඔහුගේ සිත ප්‍රීතියෙන් උද්දාම වූයේ ඇයගේ රුව දුටු විටය. ඇය රථයේ පිටුපස දොරටුව අසල අසුනක වාඩි වී සිටිනු ඔහු දුටුවේ අහම්බෙනි. නමුත් නිසල සිටියේ රථයේ ඉදිරි දොරටුව අසලය. මෙවැනි තදබද අවස්ථාවක ඉදිරි දොරටුවේ සිට පසුපස දොරටුව තෙක් ගමන් ගැනීම අතුරෙහි යනවාටත් වඩා පරිස්සමින් කල යුතුබව නිසල දැන සිටියේය.
“තෙරපිලා මැරුණත් අද නම් මම නිවේධාත් එක්ක කතා කරනවා මයි“ නිසල තිර අදිටනකින් තමාටම මුමුණගත්තේය.
අපහසුවෙන් හෝ ඇය සිටි අසුන අසලටම ඔහු පැමිණියේ ය. නමුත් කථා බහ කෙලෙස නම් අරඹන්න ද? පෙරට වඩා අපහසුතාවයක් ඔහුට දැනෙන්ට විය. ඇයගේ සොඳුරු මුහුණ දෙස හොරැහින් බැලීම විනා වෙන යමක් ඔහු නොකලේ ය. මේ මොහොතේ පිටුපස දොරටුවෙන් නැඟුණ මඟියෙකු පිළිබඳ අනුකම්පා සිත් ඇතිව නිවේධා හුන් තැනින් නැඟිට්ටා ය. අන්ධයෙකු මෙන් පෙනුන ද එම මඟියා අන්ධ නොවීය. ඇයගේ නොදැනුවත්කම දැන  නිසලට සිනා පහළ විය. ඇය ප්‍රශ්නාර්ථයක් මුසු බැල්මකින් සිය දෑස් විදහා ඔහුගේ සිනහව කුමක් නිසා දැයි විමසුවා ය.
“ ඒ  මනුස්සයා සුදු සැරයටියක් අරන් ඇවිද්දට අන්ධයෙක් නෙමෙයි. පේනනේ නැද්ද සාක්කුවේ තියෙන පත්තර කෑල්ලක් අරගෙන බල බල ඉන්න හැටි“
“එතකොට ඔයා හිනා වෙන්නේ මම රැවටුණා කියලා හිතලා ද?“
“ නෑ මිස්. මම ඔයාට හිනා වුණා නෙමෙයි. ඔයාගේ අහිංසක කමටයි හිනාවුණේ. ඔයා අහිංසක වැඩියි. අනේ තරහ ගන්න එපා. මට අයිතියක් නෑ තමයි ඔයාට එහෙම කියන්න. ඒත් මට හිතුණා........ඉතින් කිව්වා“
“ඒකට කමක් නෑ. අදහස් ප්‍රකාශ කරන්න හැමදෙනාටම අයිතියක් තියෙනවානේ. ඒත් මම ඒ මනුස්සයාට සීට් එක දුන්නේ එයාට රැවටිලා නෙමෙයි. එයා වයසක කෙනෙක් නිසා.“
“ඇත්තටම ද? නැත්තම් ලැජ්ජාව වහගන්න බොරු කියනවා ද?“ නිසල සිනාසෙමින් ඇසුවේ ය.
“තමන් අතින් වරදක් වූණා නම් පිළිගන්න එක නිවටකමක් නෙමෙයි“
“සමාවෙන්න මම අනවශ්‍ය දෙයක් කථා කලා ද?“
“දෙයක් කිව්වාට පස්සේ ආයේ වෙනස් කරන්න බැහැනේ. මම හිතන්නේ නැහැ ඔයා මට අපහාස කළයි කියලා“ ඇය සිනාසෙමින් පැවසුවාය.
ඉන්පසු දෙදෙනාම නිහඬ වූයේ කථා කිරීඹට යමක් තවත් නොවූ හෙයිනි. නිසල හැර එම බසය තුළ සිටි සියල්ලෝම තමන්ට නියමිත නැවතුම එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. නමුත් ඇයට සමීපව නැවතත් කවදා නම් ඉන්න ද? ඇයගේ නමත්, තමන් ඇයට ආකර්ශණය වී ඇති බවත්, තම ආදරයට මීට වඩා සුදුස්දෙක් මේ වන තුරැ ඔහුට හමු වී නැති බවත් හැරුණු කොට වෙනත් කිසිවක් ඇය පිළිබඳව ඔහු නොදත්තේ ය. වෙනත් තොරතුරු දැනගැනීමේ වැදගත් කමක් ද ඔහුට නොදැනුනි. බස් රථය තුළ තෙරපීම වැඩි වත්ම නිසල නිවේධාගේ ඇඟේ හැපුණි. වරක් ඇය පැළඳ සිටි උල් සපත්තු වලට ඔහුගේ පාදය තුවාල විය. මෙවැනි විවිධ අපහසුතා හමුවේ දෙදෙනාම එකිනෙකාගෙන් සමාව ඉල්ලූ නමුදු එවැනි සිදුවීම් වල නිමක් නොවූයෙන් දෙදෙනාම නිහඬ වුහ. නිවේධා මීට පෙර පොදු බස්රථයක ගමන් කර තිබෙන්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු වාර ගණනකි. එබැවින් මම තෙරපීම ඇයට මහත් අපහසුතාවක් විය. නිසල ඇගේ ඇඟේ ගෑවි නොගෑවී ඇයට පහසුවක් වන අයුරින් සිටීමට උත්සහ කළේය.
“ගොඩාක් ස්තූතියි. බස්වල ගිහින් මට වැඩිපුර පුරුදු නෑ. ඒ ගැන නම් මම ලැජ්ජා වෙනවා. ඕනම තත්වයක් දරාගන්න මට ශක්තියක් තිබිය යුතුයි නේද?“
“ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් හැමදාම බස්එකේ ගිහින් පුරුදු මටත් මේක හරිම අපහසු තත්වයක්.“ නිසල පැවසුවේය.
ඉන්පසු ඔවුන‘තර වූ කථා බහට මාතෘකා වූයේ ශ්‍රී ලංකාවේ මහා මාර්ග පද්ධතිය හා ප්‍රවාහණයයි. නිවේධා මින් පෙර නිසල දැක හෝ කථා කර නොතිබුණාය. නමුත් ඇය ඔහු සමඟ ඉතා කුළුපගුය කථා කලාය. සමහර තැන් වලදී ඔවුන් දෙදෙනාගේ අදහස් නොගැලපුන මුත් නිසලගේ විවෘත අදහස් ඇය අගය කලාය. ඔවුන් පැය කාලක් පමණ කථා කරන්නට ඇත. ඒ අතරතුර නිසල සිටගෙන සිටි ස්ථානයට යාබද අසුන හිස් විය.
“ඔයා වාඩි වෙන්න.“ නිසල ඇයට අසුන වෙත පැමිණීමට ඉඩ දෙමින් පැවසුවේ ය.
“එපා. තැන්ක් යූ.“
“ඇයි ?“
“මං වගේම ඔයත් අපහසුතාවයෙන් නේ ඉන්නේ. ඔයා වාඩි වෙන්න.“
“ඔච්චර කරුණාවන්ත වෙන්න එපා. මම ළඟින් බහිනවා. එන්න“

එවිටම වෙනත් මගියෙකු එම අසුනේ හිඳගත්තේ දෙදෙනාටම අසුන අහිමි කරමිනි.
“ඒකත් ඉවරයි.“ නිසල පැවසූ විට නිවේධාට සිනහ පහළ වූයේ ඔහු එය පැවසූ ස්වරයට ය.
“මම ඉස්සරහින් බහිනවා. මේ වගේ වෙලාවක වුණත් ඔයා වගේ කෙනෙක් එක්ක කථා කරන්න ලැබීම මට සතුටක්. මම නිසල....... නිසල පෙරේරා. යන්නම්. නැවත හමුවෙමු.“ මෙසේ පැවසූ නිසල මොහොතක් ඇය දෙස බලා සිට දොරටුව අසලට සෙනඟ අතරින් රිංගා ගියේ ය. ඔහු සිටියේ වචනයෙන් විස්තර කල නොහැකි තරම් සතුටකිනි.
*************************************************************************
මීළඟ කොටසින් හමුවෙමු.

0 ක පසුවදන් ලැබී තිබේ.:

Post a Comment

හිතට හැඟුණ දේ සනිටුහන් කරමු ද?

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...