Monday, February 14, 2011

හීනසිත්තම පස්වන කොටස

චණ්ඩ සුළඟට අවනත වී නිවේධාගේ හිසකෙස් කැරළි ගැසීය. රළ පහරද මදක් රළු විය. මුහුදු සුළඟේ ග්‍රහණයට නතුවී පැමිණි කරදිය බිඳු කිහිපයක් ඇයගේ දෙතොල් මත රැඳුණු අතර ඒවා දෙතොලට ලවණ රසයක් ගෙන ආවේය. නිවේධා ඒ සුදු වැල්ලේ මාළිගාවක් තැනුවාය. රළ පහර එය කඩා දමන්නට ගත් උත්සහය කිහිප වරක් ම වැරදී ගියේය. 
නිවේධා සිටියේ සතුටිනි. මේ ලැබෙනා නිදහස ඇයට මහ මෙරකි.
“අපි යමු ද?“ විවේකා ඇසුවාය. විවේකා පාසල් වියේ සිටම නිවේධාගේ හොඳම මිතුරියයි.
“අනේ ටිකක් ඉමු.“
“කෙල්ලේ, හවස පහත් වෙලා“
“ඔයාට පරක්කු වෙනවද විවේකා, ඔයාගේ නෑදැයෝ කට්ටියකුත් ඩිනර් වලට එනවයා කිව්වා නේද?“
“ඔව්. අපේ අම්මගේ නංගිගේ මහත්තයයි, එයාගේ පුතයි“
“තව ටිකකින් යමු......නැත්නම් ඔයා යන්න. ඔයා පරක්කු වුණොත් අම්මා බනි නේ ද?“

“නෑ. මමත් තැමතියි. පරක්කු වෙලා යන්න. මොකද අද ඔය අපේ ගෙදර එන සුදු අයියා විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්නේ. මම එයාව අවු12කින් දැකලා නෑ. හැමවෙලේම බණ කියනවා සුදු අයියාව ආදර්ශයට අරන් හැදෙන්න කියලා. අද එයාලා ආපුවහම මට කනක් ඇහිලා ඉන්න නැතිවෙයි.“
“මමත් ඔයාට කියන්නේ දැන්වත් හැදෙන්න කියලා තමයි. මේ අපිව ආදර්ශයට අරගෙන!“
“ඔව් ඉතින් දැන් ඔයාත් කැම්පස් යන්න ඉන්න අක්කෙක් නේ. ඔයා ගියහම මං තමයි තනිවෙන්නේ“
“මට දුකයි ඔයාව දාලා යන්න. මට යි තනි වෙන්න වෙන්නේ, මම ආදරය කරන දෙන්නව දාලා යන්නයි මට වෙලා තියෙන්නේ. අප්පච්චිගේ සොහොනයි, ඔයයි. ලොකු අප්පච්චි කැමති නෑ මම කැම්පස් යනවට. ඒ නිසාමයි මම යන්නෙත්. මට ඕන හැමවෙලේම එයාළට විරුද්ධ වෙන්න. ඒ මිනිහා කොච්චරවත් අපේ අම්මට කිව්වා මට ඔය තියෙන දේපල බලා කියාගෙන ගෙදරට වෙලා ඉන්නයි කියන්න කියලා. අම්මටත් ඕන මාව එයාට ගැලපෙන බෑණා කෙනෙක්ට බන්දලා දෙන්න. එයාගේ උඬඟු පරම්පරාවවේ නම්බුව වැඩි කරන බෑණා කෙනෙක්ට. ඒත් එහෙම කෙනෙක්ව හොයාගන්න බැරි එකයි දැන් එයාට තියෙන ප්‍රශ්නේ. ඒ විශාල මන්දිරය ඇතුලේ මට පුංචි හරි සැනසීමක් තියෙනවා නම් ඒ මගේ ආච්චි අම්මාගේ වචන වල විතරයි. මම හිතනවා කැම්පස් එක ඉක්මනට මට සමීප වේවි... ඔය ගෙදර කියන තැනට වඩා.“ නිවේධා සිනාසෙමින් පැවසුවාය. එය අසා විවේකාගේ දෑස් තෙත් විය.
“ඇයි මේ ඇස් වල කඳුළු ?“ නිවේධා සිය මිතුරියගෙන් ඇසුවාය.
“මට දුකයි ඔයා ගැන. මිනිස්සු ගොඩ දෙනෙක් දුක් විඳින්නේ සල්ලි නැතිව. ඒත් ඔයා විඳවන්නේ ආදරය නැතිව. ඔයාට නපුරු මිනිස්සු කොච්චර වද දෙනවද කියලා ඔයාගේ අප්පච්චි බලාගෙන ඇති......., ඉන්න තැනක ඉඳන්. ඔයාගේ සතුට වෙනුවෙන් මම යාච්ඤා කරන්නම්“
“දන්නවද... ඉස්සරහට එන්නේ මගේ හොඳම කාලේ. ආරක්ෂාව තර කිරීම පිණිස කැම්පස් එකට මදක් ආසන්නයෙන් නිවසක් මිලදී ගන්නා ලදී. එහි මම මාගේ ආච්චි අම්මා සමඟ පදිංචියට යන්නෙමි.“ ඇය අහිංසකව සිනාසී පැවසුවා ය.
“ජොලියනේ! ඔයාලා විතරක්...?“
“වැඩකාරයෝ තුන්දෙනෙකුත් ඉන්නවා. ආච්චිඅම්මා තෝරගෙන තියෙන්නේ අපිට සපෝර්ට් කරන අයවමයි“
“හොඳයි හොඳයි. අන්තිමට සැබෑ නිදහස ලැබෙනවා එහෙනම්“
“ඔව්. මම අවාසනාවන්තියක් නෙමෙයි නේ. අනේ විවේකා. ඔතන ඔය ගල උඩට වෙලා ඉන්නේ නැතිව මට මගේ වැලි මාලිගාව හදන්න උදව් වෙන්නකෝ. බලන්න ඒක ලස්සන වැඩි නිසා රළ ගෙඩි වලටත් මගේ මාළිගාව කඩන්න ලෝබයි වගේ.“ නිවේධා මෙසේ පවසා නැවතත් සිය වැලි මාලිගාව සැරසීමට පටන් ගත්තාය. විවේකා සිනාසෙමින් බලා සිටියා ය.

එවේලේ කොහේදෝ සිට පැමිණි පා පන්දුවක් නිවේධාගේ වැලි මාලිගාව මතට වැටී එය කඩා බිඳ දැමුවේ ය. මාළිගාව වෙතට යොමුව තිබු ගැහැණු ළමුන්ගේ නෙත් එකිනෙකා වෙතට යොමුවිය. ඔවුහු නැවත මාළිගාව දෙස බැලුවෝය. එතැන දැන් වුයේ වැලි ගොඩක් පමණී. 
තමන් දෙසට යමෙකු දිව එන අඩි ශබ්දයක් ද, සමාවෙන්න යැයි කියනා හඬක් ද නිවේධාට ඇසුණි.
“සමාවෙන්න කිව්වහම හැමදේම හරියනවද ?“ විවේකා ඇසුවාය.
“ඔයාගෙද මාළිගාව....?“
“එහෙනම් ඔබ තුමි කට වහගෙන ඉන්න. මම සමාව ඉල්ලුවේ මෙයාගෙන්. ඒ මගෙන් වරදක් වුණු බව දැනුන නිසා.“

**********************************************************************

මීළඟ කොටසින් නැවත හමුවෙමු

0 ක පසුවදන් ලැබී තිබේ.:

Post a Comment

හිතට හැඟුණ දේ සනිටුහන් කරමු ද?

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...